රීටා ජෝන් ඝාතන නඩුව

By Thineth Korasagalla | Online Law Master | tags: ප්‍රසිද්ධ නඩු තීන්දු, රීටා ජෝන් ඝාතන නඩුව, Landmark judgements, Famous Case Laws

[Ajith Fernando ALIAS Konda Ajith and Others V. AG]

මෙය ශ්‍රි ලංකාවේ බිහිසුණු අපරාධ නඩු ගොන්නට අවිවාදයෙන් තොරව එක් වන තවත් එක් නඩුවකි. නඩුවට පාදක වන මියගිය කාන්තාව වන ”රීටා ජෝන්” යනු ඉන්දියානු කාන්තාවකි. ඇය නාවික ඉන්ජිනේරුවෙකු වූ ජූඩ් මනෝහරන් සමග විවාහ ගිවිසගෙන සිටියා ය. ඔවුන් ජීවත් වූයේ කැළණි මෝය අද්දර හෙවත් මට්ටක්කුලිය, මෝදර පිහිටි “කාක” නම් අක්කර 60 ක් පමන වූ කුඩා දුපතේ ජූඩ්ගේ පියාට අයිති නිවසක ය. පියා විශ්‍රාමික පොලිස් අධිකාරිවරයෙකි. (Crow Island) මෙම දූපතේ නැඟෙනහිර පැත්තේ කඩොලාන වනාන්තරයක් විය.

දිනය 1998 සැප්තැම්බර් 11

සුපුරුදු පරිදි මියගිය රීටා ජෝන් සහ මනෝහරන් කැළණි ගඟේ මෝය දෙසට ඇවිද ගොස් ආපසු පැමිණෙමින් සිටියදී විත්තිකරුවන් වූ “කොණ්ඩ අජිත්” නොහොත් අජිත් ප්‍රනාන්දු, බැසිල් මෙන්ඩිස්, චමින්ද කුමාර හා පසුව රජයේ සාක්ෂිකරුවෙකු වූ ලක්ෂ්මන් පෙරේරා ඉදිරියට මුණගැසුණි.

විත්තිකරුවන් තිදෙනාගෙන්, චමින්ද රීටාගේ අත අල්ලා ඇයව ඇද ගැනීමට උත්සාහ කළේය. මනෝහරන් තම බිරිඳ ඔහු දෙසට ඇදගෙන ගොස් චමින්දගෙන් ඔහු කුමක් කරන්නේ දැයි විමසීය. පසුව ඔහු අසභ්‍ය භාෂාවෙන් ඔහුට බැන වැදුනු අතර විත්තිකරුවන් තිදෙනාම යාර 21/2 ක් පමණ ඉදිරියට ගියහ. හදිසියේම නැවත චමින්ද ඔවුන් දෙසට දුවන්නට පටන් ගත් අතර අජිත් සහ බැසිල් ද පැමිණියහ. ලක්ෂ්මන් මෙම ස්ථානයෙන් පැන ගොස් ඇත.

මෙම අවස්ථාවේ මනෝහරන් තම බිරිඳගෙන් පලා යන ලෙස ඉල්ලා සිටියේය. ඇය පලා යාමට පෙර චමින්ද ඔහුගේ ටී ෂර්ට් එකෙන් අල්ලාගෙන සිටි අතර බැසිල් ඔහුගේ බෙල්ලෙන් අල්ලා ගත්තේය. අජිත් රීටා පිටුපස ගොස් ඇයව අල්ලා ගත්තේ ඔහු පිස්තෝලයකින් සන්නද්ධව සිටින බව පවසමිනි. චමින්ද මනෝහරන්ගේ උදරයට පයින් ගැසූවේය. මනෝහරන් බැසිල්ගේ ග්‍රහණයෙන් මිදීමට උත්සාහ කරන විට, ඔහුගේ ඇස් කණ්ණාඩි යුගල බිම වැටී ඇත.

ඔහු චමින්දට පයින් ගසා බැසිල්ගේ ලිංගේන්ද්‍රියට පහරක් එල්ල කළේය. ඔවුන් දෙදෙනාම ඇද වැටුණු අතර බැසිල් ඔහුගේ වම් තන පුඩුවට පහළ සපා කැවේය. ඒ අවස්ථාවේදී රීටා මනෝහරන් ගේ නම කියා කෑගසමින් ඔහුගේ උදව් ඉල්ලා සිටියා ය. ඔහු දිගින් දිගටම බැසිල් සහ චමින්ද සමග ඔට්ටු වන අතරවාරයේ රීටාගේ හඩ නොඇසී ගියේය. පසුව මෙම පුද්ගලයින් සමඟ දිගටම සටන් කිරීමට ඔහුට නොහැකි වූ නිසා, ඔහු උපකාර පැතීමට පලා යාමට තීරණය කළේය. රීටා ආගිය අතක් සොයාගන්ට නොවීය.

පසුව ඔහු නිවසට දිව ගොස් සිදුවූ දේ තම පියාට දන්වා, සිද්ධිය සිදුවූ ස්ථානය දෙසට ආපසු පැමිණියේය. මඳ වේලාවකට පසු ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් දෙහිදෙනිය මහතා සමග පොලිස් නිලධාරීන් හා නිල සුනඛයන් කණ්ඩායමක් සහ හමුදා භටයන් කිහිප දෙනෙකු රාත්‍රි 7.05 ට පමණ යතුරුපැදිවලින් සහ ජීප් රථවලින් මෙම සිද්ධිය සිදුවූ ඇති ස්ථානයට පැමිණියහ. ඔවුන් ඔහුගේ බිරිඳ රීටා සහ විත්තිකරුවන් තිදෙනා සෙවීම ආරම්භ කළහ. පරිසරය අඳුරු වූ අතර ප්‍රදේශය පඳුරු වනාන්තර, කඩොලාන සහ විශාල ගස් වලින් වැසී තිබුණි. එදින සවස රීටා සොයා ගැනීමට දැරූ සියලු උත්සාහයන් අසාර්ථක විය. සොයාගැනීමට හැකි වූයේ රීටාගේ සෙරප්පු යුගල සහ මනෝහරන්ගේ කමිසය පමණි.

පසුව හෙලිවූ කරුණු අනුව අජිත් ඇතුලු මෙම විත්තිකරුවන් තිදෙනා රීටාව කැලය තුලට පැහැරගෙන ගොස් සමූහ දූෂණය කර ඇයගේ සියලු රං භාණ්ඩ කොල්ලකා ගෙල සිරකර මරා දමා මළසිරුර මඩ ගොහොරුවක සගවා තිබුණි.

සාක්ෂි

ඔක්තෝබර් 13 වන දින අලුයම 3.00ට පමණ පොලීසියට ලද තොරතුරකට අනුව ලක්ෂ්මන් පෙරේරා සැකපිට අත්අඩංගුවට ගෙන ඔහු ඔස්සේ චමින්ද සහ බැසිල්ද අත්අඩංගුවට ගත්හ. ඔවුන්ගෙන් ලද තොරතුරුවලට හා මගපෙන්වීමට අනුව, එනම් සිදුවීම සිදු වී දින දෙකකට පසු පොලීසිය විසින් රීටා ජෝන්ගේ මළ සිරුර කාක දූපතේ නාරා ආයතනය පිටුපස මඩ වගුරක් තුල තිබී සොයාගත් අතර සිරුර ජලජ ශාක වලින් වැසී තිබී ඇත. මෙහිදී ලක්ෂ්මන් විසින් මළ සිරුර තිබූ දිශාවන් පෙන්වා නොතිබුනි.

පසුව ඔක්තෝම්බර් 14 දින පොලිස් පරීක්ෂක උදයකුමාර මහතා විසින් කොණ්ඩ අජිත් හසලක ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත්තේය. ඔහු විසින් රීටාගේ ඇදුම් සියල්ල කාක දූපතේ සගවා තිබූ ස්ථානය පෙන්වන ලදී. කොට්ටන් ගසක් ආසන්නයේ කොළවලින් වසා තිබූ රීටාගේ සියලු ඇදුම් ජූඩ්ගේ ප්‍රකාශනයේ පරිදි විය.

පසුව නීතිපතිවරයා විසින් චෝදනා හයකින් යුත් අධිචෝදනා පත්‍රයක් කොළඹ මහාධිකරණයේ ගොනු කර සැකකරුවන් නීතිය හමුවට ගෙන එන ලදී. මෙහිදී අපරාධ නඩු විධාන සංග්‍රහයේ 256(1) වගන්තිය ප්‍රකාරව ලක්ෂ්මන් පෙරේරා රජයේ සාක්ෂිකරුවෙකු විය.

ජූඩ් මනෝහරන්ගේ සාක්ෂියට අනුව, සිදුවීම වූ දින සවස ඔහුගේ බිරිඳ රීටා ජෝන් නිල් පැහැති ඩෙනිම් කලිසමකින් සහ ලා කොළ පැහැති කමිසයකින් සැරසී සිටියා ය. ඇය ‘Gypsy’ කරාඹු යුගලක් සහ ‘තාලිය’ හෙවත් ‘මංගල සූත්‍රය’ ලෙසද හැඳින්වෙන, විවාහ දිනයේදී ඔහු විසින් බැඳ තිබූ මාලය සහ රන් වළලු යුගලයක්, මංගල මුද්දක්, දියමන්ති මුද්දක්, සහ KDM යන මුලකුරු සහ 916 අංකය එන්ග්‍රේව් කර තිබූ පෙන්ඩනයක් පැලද සිටියා ය. වළලු යුගලයේ අංක 8 නිරූපණය කරන මෝස්තරයක් මධ්‍යයේ මල් මෝස්තරයක් විය. ඇය සිංගප්පූරුවේ මිලදී ගත් සුදු පැහැති ඉන්දියානු බ්‍රෙසියර් එකකින් සහ අළු පැහැති යට ඇඳුම් ඇඳ සිටි අතර එහි වෙළඳ නාමය ‘Marks & Spencer’ විය. සිරුර සොයා ගන්නා අවස්ථාවේදී, ඇගේ ශරීරයේ ‘Gypsy’ කන් මුදු යුගලයක් හැර, ඉහත සඳහන් ආභරණ සහ ඇඳුම් කිසිවක් මළ සිරුරේ තිබී සොයාගෙන නැත.

අජිත්ගේ බිරිද විසින් රීටාගෙන් කොල්ලකෑ වළලු පොලීසියර භාර දුන්නාය. තවද බැසිල් සන්තකයේ තිබී “තාලිය” හා KMD කොටා තිබූ පෙන්ඩන්ට් එක පොලීසිය විසින් සොයාගත්හ.

සහකාර අධිකරණ වෛද්‍ය විදානපතිරන මහතා විසින් පශ්චාත මරණ පරීක්ෂණ සිදුකල අතර ඔහුගේ වෛද්‍ය සාක්ෂි වලට අනුව මියගිය වෙලාව ඔක්තෝම්බර් 11 දින 6.00pm – 11.00pm අතර කාලයක බවත්, මියයාමට හේතුව කඹයකින් ගෙල සිරකිරීම (Strangulation by a Ligature) බවත්, ශරීරයේ සහ යෝනි මාර්ගයේ (Labia Majora) සහ ගුදමාර්ගේ (Anal) තිබූ තුවාල වලට අනුව තවදුරටත් පෙන්වාදුන්නේ මිය ගිය කාන්තාව පොරබැද අති අතර කිහිපදෙනෙකු විසින් යෝනි සහ ගුද සංසර්ගයට (Vaginal Intercourse & Anal Intercourse) සමූහ ලෙස භාජනය කර තිබූ බවකි.

සැකකරුවන් සහ මනෝහරන් පරීක්ෂණයට භාජනය කිරීමෙන් අනතුරුවද වෛද්‍යවරයා තවදුරටත් පවසා සිටියේ සැකකරුවන්ගේ කකුලේ තුවාල සිදුවී අති අතර රළු මතුපිටක් මත මුහුණ පහළට වැතිරී සිටින සේ ලිංගික සංසර්ගයේ යෙදීම නිසා බොහෝවිට මෙම තුවාල සිදුවී ඇති බවකි. මනෝහරන්ගේ වම් තන පුඩුව පහළ ඇත්තේ සපාකෑමක් බව තවදුරටත් පෙන්වා දුන්නේය.

ගරු මහාධිකරණ තීන්දුව

කොළඹ ගරු මහාධිකරණයේ නඩු විභාගයකින් අනතුරුව ඉහත සදහන් ප්‍රධාන සාක්ෂි වන වෛද්‍ය සාක්ෂි, වාචික සාක්ෂි සහ නඩු භාණ්ඩ ද අනෙකුත් කරුණු කාරනා ද සලකා බලා,
හතරවන සැකකරු වූ ලක්ෂ්මන් පෙරේරා රජයේ සාක්ෂිකරුවෙකු ලෙස නිතිපතිවරයා විසින් නම් කෙරුණි.

පළමු සැකකරු වූ “කොණ්ඩ අජිත්” නොහොත් අජිත් ප්‍රනාන්දු, දණ්ඩ නීති සංග්‍රහයේ 357 හා 32 වගන්ති ප්‍රකාරව රීටාව පැහැරගෙන යාම සහ නීතිවිරෝධී සංසර්ගයකට බලපෑම් කිරීම සදහා වසර 12 ක බරපතල වැඩ සහිත සිරදඩුවම් ද, දණ්ඩනීතී සංග්‍රහයේ 364(2) වගන්තිය ප්‍රකාරව රීටාව සමූහ දූෂණයට (Gang Rape) ලක් කිරීම සදහා වසර 20 ක බරපතල වැඩ සහිත සිරදඩුවම් ද, දණ්ඩනීතී සංග්‍රහයේ 380 හා 32 වගන්ති ප්‍රකාරව රීටාගේ ආභරණ මංකොල්ලකෑම සදහා වසර 10 ක බරපතල වැඩ සහිත සිරදඩුවම් ද, දණ්ඩනීතී සංග්‍රහයේ 296 හා 32 වගන්ති ප්‍රකාරව මිනීමරුම් චෝදනාවට මරණ දණ්ඩනය ද තීන්දු විය.

දෙවන සකකරු වූ බැසිල් මෙන්ඩිස් ද ඉහත චෝදනා සියල්ලට වැරදිකරු වූ අතර එම දණ්ඩනයන් පිළිවෙලින් ඔහුට ද අච්චු විය. තුන්වන සැකකරු වූ චමින්ද කුමාර ට මංකොල්ලකෑමේ චෝදනාව හැර ඉහත අනෙකුත් චෝදනා 3 ටම වරදකරු ලෙස ගරු මහාධිකරණය තීන්දු කලහ.

පසුව මෙම චූදිතයන් තිදෙනා විසින් අධිනීතිඥ Dr. රංජිත් ප්‍රනාන්දු මහතා මාර්ගයෙන් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනාවක් ගොනු කලහ. රජය වෙනුවෙන් පෙනීසිටියේ සොලිසිටර් ජෙනරාල්, ජනාධිපති නීතිඥ C.R. ද සිල්වා මහතා ය. මෙම අභියාචනාව මගින් පහත කරුණු පෙන්වා දී තිබුණි.

🗣 මහාධිකරණ විනිසුරුවරයන් මගින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 256 (2) වගන්තිය ප්‍රකාරව උල්ලංඝනයක් සිදු වී ඇති බවත්, මෙම නඩුවේ ලක්ෂ්මන් පෙරේරා නඩු විභාගයේදී සාක්ෂිකරුවෙකු ලෙස විභාගයට නොගැනීම නීතිමය වරදක් බවත් ය. එනම් සමාව පිළිගන්නා සැකකරුවෙකුගේ අවශ්‍යතා ඉටුකිරීමට පමණක් මෙහි සදහන් විධිවිධාන නොමැති බව සහ සදහන් විධිවිධාන වලට අනුව රජයේ සාක්ෂිකරුවෙකු වූ පුද්ගලයෙකු සාක්ෂිකරුවෙකු ලෙස විභාගයට භාජනය කල යුතු බවයි.

Section 256 of Code of Criminal Procedure states that,
(1) In the case of any offence triable exclusively by the High Court the Magistrate inquiring into the offence may, after having obtained the Attorney General’s authority so to do, or the Attorney-General himself may, with the view of obtaining the evidence of any person supposed to have been directly or indirectlyconcerned in or privy to the
offence under inquiry, tender a pardon to such person on condition of his making a full and true disclosure of the whole of the circumstances within his knowledge relative to such offence and to every other person concerned whether as principal or abettor in the commission thereof.
(2) Every person accepting a tender under this section shall be examined as a witness in the case.
(3) Such person if not on bail shall be detained in custody until the termination of the trial.

🗣 තවද නීතිඥවරයා පෙන්වාදී ඇත්තේ මිනීමැරීමේ පොදු චේතනාව ඔප්පු වී නොමැති බවත් මෙම සිද්ධිය සංවිධානාත්මක අපරාධයක් නොවන බැවින් එම ස්ථානයේදී කඹයක් (Ligature) සොයාගත නොහැකි බවත් සියලු චූදිතයන් එක්ව කඹයකින් ගෙල සිර කර මරා දැමූ බවට සාක්ෂි නොමැති බවත්,

🗣 තවදුරටත් පෙන්වා දී ඇත්තේ පැහැරගැනීම සම්බන්දව දණඩනීති සංග්‍රහයේ 357 වගන්තිය ප්‍රකාර චෝදනාවට අදාල දඩුවම ඉක්මවා ගොස් ඇති බවත් ය.

ඉහත අභියාචනයේ ප්‍රධාන කරුණු, සහ අනෙකුත් කරුණු මෙන්ම නඩු තීන්දු (Judicial Precedents) සලකා බලා ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ ගරු Ismail විනිසුරුවරයා ප්‍රධාන පංච පුද්ගල විනිසුරු මඩුල්ල මගින් පහත කරුණු ඉදිරිපත් කලහ.

✔️ රජයේ සාක්ෂිකරුවන්ගේ ලැයිස්තුවේ සිටි ලක්ෂ්මන් පෙරේරා කැඳවීමට අධිකරණය අපොහොසත් වීම නඩුව අගතියට පත් නොවීය. ඔහුට කොන්දේසි සහිත සමාවක් ලබා දී තිබුණ බවත්, විත්තිය විසින් ඕනෑම වෙලාවක කැදවීමට තිබුනද නඩු විභාගයේ එවන්නක් සිදුවී නැති බවත් ය.

✔️ පැහැරගෙන යාමේ සහ මිනීමැරීම සම්බන්දව පොදු චේතනාව ඔප්පු කර නොමැති බවට වන විරෝධය විත්තිකරුවන්ගේ සත්භාවයෙන් (prima facie) පැහැදිලි කිරීමක් නොමැතිව සාධාරණ නොවන බවත් ය.

✔️ දණ්ඩනීති සංග්‍රහයේ 357 වගන්තිය ප්‍රකාරව දණ්ඩනය ඉක්මවා යාමක් සිදුවී ඇති බැවින් එම චෝදනාවට පමනක් අදාල දණ්ඩනයේ වසර 12 ක කාලය වසර 10 දක්වා අඩු කල යුතුව ඇති බවත් ය.

ඒ අනුව ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉහත කරුණු සියල්ල සලකා ගරු මහාධිකරණය විසින් තීන්දු වූ එක් දණ්ඩනයක් පමණක් වෙනස් කර අනෙකුත් දණඩන සියල්ලට නැවත චූදිතයන් යටත් කොට අභියාචනාව නිශ්ප්‍රභා කිරීමට ඒකමතිකව තීන්දු කලහ.

Case Report: https://www.lawnet.gov.lk/ajith-fernando-alais-konda-ajith-and-others-v-the-attorney-general/?fbclid=IwAR1XUEEf0eCuPvtjLheLPdFybK_US4kWGcUsoOsfG45ehLOQJCtOulJnwWU