විහාරාධිපති ධුරය සදහා අනුප්‍රාප්තිය ( 02 කොටස)

සටහන – පුජ්‍ය බුත්තල රාහුල හිමි | Online Law Master | Religious Law, Law relating to temples, බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනත, බෞද්ධාගමික නීතිය

දැනට පවත්වාගෙන එනු ලබන කිසියම් පංසලක හෝ විහාරස්ථානයක විහාරාධිපති ධුරය සදහා නව විහාරාධිපති කෙනෙක් සදහා අනුප්‍රාප්ත වීමට නම් එකී ධුරය හිස්වීම අත්‍යවශ්‍ය කරුණකි. එසේ විහාරාධිපති ධුරයක් හිස්වන ආකාරයන් කිහිපයක් ලංකාව තුල දක්නට ඇති අතර, අධිකරණය මගින්ද එවැනි තත්වයන් සනාථ කර ඇත.

  1. එහිදී ප්‍රධාන වශයෙන් දක්නට ලැබෙන කරුණ වන්නේ විහාරාධිපති හිමියන්ගේ අපවත් වීම මත විහාරාධිපති ධුරය පුරප්පාඩු වීමය. මෙය සාමාන්‍යයෙන් අප රට තුල නිරන්තරයෙන් දක්නට ලැබෙන එක් කරුණකි. තවද භික්ෂුවක් උපැවිදි වීමද සලකන්නේ භික්ෂුත්වයේ මරණය(අවසානය) ලෙසය
  2. අනෙක් කරුණ වන්නේ විහාරාධිපති භික්ෂුව විසින් විහාරාධිපති ධුරය අතහැර දැමීමයි. මෙය කලාතුරකින් සිදුවන දෙයක් වන අතර එවැනි අවස්ථාවක් ලෙස විහාරාධිපති හිමියන් ස්ථිර විදේශ පදිංචියට යාම ආදිය සැලකිය හැක.
  3. අවසන් කරුණ වන්නේ විහාරාධිපති හිමියන්ගේ භික්‍ෂුභාවය අහිමි වීමය. මෙය ටිකක් සංකීර්ණ කරුණක් වන අතර මෙවැනි කරුණක් තීරණය කිරීමට සංඝ සභාවට පුර්ණ බලතල ඇතත්, එකී සංඝ සභාවේ තීරණය විධිමත් නොවන ඕනෑම අවස්ථාවකදී එය ඉවත දැමීමට අධිකරණයට හැකියාව ඇත.

උදාහරණයක් ලෙස සතර පරාජිකවන්ගෙන් එකක් වූ බට සංඝ සභාවට ලැබෙන පැමිණිල්ල මත භික්ෂුභාවය ඉවත් කිරීමට නොහැක, එකී කරුණ සම්බන්ධයෙන් බලය ඇති අධිකාරියක්(අධිකරණයක්) මගින් ලබා දෙන තීන්දුව අවසානාත්මක තීන්දුව වන්නේය.

අලුතින් ඉදිරිකරන ලද පන්සලක් පුජා කිරීමේදී, එකී පන්සලේ විහාරාධිපති ධුරයට සුදුසු භික්ෂුවක් තෝරා ගැනීමට දායකයන්ට හැකියාව ඇති අතරම, විහාරාධිපති ධුරය අනුප්‍රාප්ත වන අකාරය සම්බන්ධයෙන් කොන්දේශි පැනවීමටද හැකියාව ඇත.