![](https://onlinelawmaster.com/wp-content/uploads/2023/02/30.-විහාරාධිපති-01-කොටස-.jpg)
1931 අංක 19 දරණ විහාර හා දේවාලගම් පනතේ විධිවිධානයන් අතර, විහාරාධිපති පත් කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් කිසිදු වගන්තියක සදහන්ව නොමැත. එසේ කිරීමට හේතු වී ඇත්තේ විහාරාධිපති ධුරය ලැබීම මෙම පනත ගෙන එන අවස්ථාව වන විටත්, එක් එක් විහාරස්ථාන සදහා විශේෂිතව විහාරාධිපති ධුරය පත් කිරීමේ ක්‍රම වේදයන්ද, සාමාන්‍ය විහාරස්ථාන සදහා තවත් ක්‍රමවේදයක්ද, සමහර විහාරස්ථාන සදහා ගිහි පාර්ශ්වයන්ට විහාරාධිපති පත් කිරීමේ බලතලද, විහාරස්ථානය ඉදිකර පුජා කරන අවස්ථාවේදී සකස් කරන ලද සන්නස/ප්‍රදාන පත්‍රයේ කොන්දේසි මතද, විහාරාධිපති පත්විය යුතු බවට පිළිගෙන තිබීම නිසාය. එබැවින් ඒ ඒ විහාරස්ථාන සදහා පවත්වාගෙන ආ සාම්ප්‍රදායික ක්‍රමවේදයන් අනුවම විහාරාධිපති තෝරා පත් කර ගැනීම සදහා පනතින් ඉඩ ලබා දී ඇත.
එසේ පත්වන විහාරාධිපති හිමියන්ගේ පත්වීම පිළිගෙන, එකී විහාරාධිපති හිමියන් සමග කටයුතු කිරීම බෞද්ධ කටයුතු කොමසාරිස් තුමා විසින් කරන අතර, විහාරාධිපති ධුරය සම්බන්ධයෙන් ආරවුලක් පවතින අවස්ථාවක, එකී ආරවුල විසදීම අධිකරණය මගින් සිදු කිරීම අතීතයේ සිට පැවත ආ ක්‍රමවේදය වෙයි.
ඒ අනුව විහාරාධිපති ධුරයට පත්වන ආකාරය මුලික වශයෙන් ආකාර තුනකින් දැකිය හැකි අතර, එකී ආකාර තුනද තවත් අනු ආකාර වලට බැදී යයි.
- සන්නසක්/අධිකාරී පත්‍රයක්/ප්‍රධාන පත්‍රයක් මගින්
- අදාළ නිකාය හෝ පාර්ශ්වය මගින් නිසි ලෙස පත් කිරීම මගින්
- අධ්‍යාත්මික උරුම අයිතිවාසිකම් වලට අදාළ රීති මගින් ය.
එසේ පත්වන විහාරාධිපති හිමිවරුන් පනතේ විධිවිධානයන් සමග කටයුතු කරන කටයුතු කරන ආකාරය අනුව දෙයාකාරයකින් දැකිය හැක.
- නීත්‍යනුකුල විහාරාධිපති ( Incumbent De Jure )
- තත්වාකාර විහාරාධිපති ( Incumbent De Facto)
,,,,,,,,,,,,,,,,,,,,,,විහාරාධිපති බලතල,,,,,,,,,,,,,,,
පංසලක/විහාරස්ථානයක පාලන බලතල හිමිවන්නේ නිත්‍යානුකුල විහාරාධිපති හිමියන්ටය. නමුත් විහාරාධිපති හිමියන්ට වෙනත් භික්ෂුන්වහන්සේ කෙනෙක් තත්වකාර විහාරාධිපති ලෙස පත් කල හැකිය. වර්තමානයේදී එකී තනතුර “විහාරාධිකාරී” ලෙස හදුන්වන අතර, එසේ තත්වකාර විහාරාධිපති (විහාරාධිකාරී) ලෙස භික්ෂුවක් පත්කර, විහාරස්ථානයේ බලතල පැවරීමට නිත්‍යානුකුල විහාරාධිපති හිමියන්ට අයිතියක් ඇත.
විහාරාධිපති/විහාරාධිකාරී හිමියන් සතු බලතල මොනවාද යන්න සම්බන්ධයෙන් අධිකරණය විසින් සොයා බැලීමේදී වෙනත් ආගමික පුජකවරුන් සතු බලතල ගැන සැලකිල්ලට ගෙන එම බලතලද, විහාරාධිපති/විහාරාධිකාරී සතු වන බවට තීරණය කර ඇත. එවැනි අවස්ථාවක්, ගුණරත්න නායක තෙර එ. පුංචි බණ්ඩා කෝරාළ 28 NLR 145 නඩුවේදී දැකිය හැක.
පංසලක/විහාරස්ථානයක, විහාරාධිපති/විහාරාධිකාරී හිමියන් සතු බලතල අතර එම පන්සලේ ආගමික කටයුතු පවත්වාගෙන යාම, විහාරස්ථානයේ සිටින භික්ෂුන්ගේ විනය සම්බන්ධයෙන් තීරණ ගැනීම, සංවර්ධන කටයුතු සහ පංසල සතු දේපළ ලබා ගැනීම, ආරක්ෂා කිරීම සහ පුනස්ථානය කිරීමද ඒ සදහා අධිකරණ කටයුතු කිරීමද ඉන් කිහිපයක් වේ.
නමුත් කිසිදු අවස්ථාවක තත්වාකාර විහාරාධිපති හිමියන්ට එකී විහාරස්ථානයේ දේපළ පාලනය සම්බන්ධයෙන් භාරකරුට හෝ නිත්‍යානුකුල විහාරධිපතිට එරෙහිව සිවිල් නඩුවක් ආරම්භ කල නොහැක. එසේ වීමට හේතුව වන්නේ අදාළ විහාරස්ථානයේ භාරකරු හා තත්වාකාර විහාරාධිපති පත්කරනු ලබන්නේ නිත්‍යානුකුල විහාරධිපති හිමියන් වන බැවිනි.