විහාර හා දේවාලගම් පනත යටතේ දේපළ පාලනය

සටහන – පුජ්‍ය බුත්තල රාහුල හිමි | Online Law Master | Religious Law, Law relating to temples, බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනත, බෞද්ධාගමික නීතිය

දේපළ යනු…….

විහාරස්ථානයක් හෝ දේවාලයක් සතුව දැනට පවතින සියලුම චංචල හා නිශ්චල දේපළද, පුද්ගලික නොවන මට්ටමින් උපයාගත් දේපළ හැර, පරිත්‍යාග හෝ පුජාවක් සහ භාරයක් ලෙස ලැබෙන සියලුම චංචල හා නිශ්චල දේපළද, එකී විහාරස්ථානය හෝ දේවාලය මත බදු, අද, කුලී හා වෙනත් අයුරින් ලැබෙන සියලුම චංචල හා නිශ්චල දේපළද, නඩු කටයුතු මගින් අඩුක්කු වන සියලුම චංචල හා නිශ්චල දේපළද, යන ඒවා විහාරස්ථානයක් නම් සංඝික හා විහාරස්ථානය සතු දේපළ ලෙසත්, දේවාලයක් නම් දේවාලය සතු දේපළ ලෙසත් හැදින්වේ.

දේපළ පාලනය යනු…….

පනතේ 25 වන වගන්තියේ දක්වා ඇති පරිදි එකී දේපළ අදාල ස්ථානයේ භෞතික සංවර්ධනය හා සංරක්ෂණය කටයුතු සදහාද, භික්ෂුන් වහන්සේලාගේ සහ නිලධාරීන්ගේ නඩත්තුව සදහාද, ආගමික උත්සව හා පුද පුජාවන් සදහාද, අධ්‍යාපන කටයුතු සදහාද, ආගන්තුක සත්කාර හා දිලිදුන් සදහාද, පනතේ 28 සහ 31 වගන්තිව සදහන් කාර්යන් සදහාද, ආදී වූ කාර්යන් සදහා පනතේ විධි විධානයන්ට යටත්ව හා අනුකූලව වියදම් කිරීම හා අයකර ගැනීම සහ සුරක්ෂිත කිරීම මෙම පනත යටතේ දේපළ පාලනය ලෙස හැදින්විය හැක.
දේපළ පාලනය කරන බලධාරීන්…….

  1. ශ්‍රී ලංකාව තුල පනතේ 4(1) වගන්තියෙන් පාලනය වන විහාරස්ථාන 250 කට ආසන්න ප්‍රමාණයක් ඇත, එකී විහාරස්ථානවල දේපළ පාලනය කිරීම සදහා ” භාරකරුවෙකු ” තෝරා පත් කර ගත යුතුය. එම භාරකරු නම් කිරීමේ හැකියාව එකී විහාරස්ථානයේ විහාරාධිපති භික්ෂුන් වහන්සේට හැකියාව ඇති අතර, එම නම් කිරීම බෞද්ධ කටයුතු කොමසාරිස් වරයා විසින් අනුමත කරනු ලබයි. එම පත් කිරීම වලංගු වන්නේ වසර 05 ක් දක්වා පමණි.
  2. ඉහතින් දක්වන ලද 4(1) වගන්තියෙන් බැහැර කරන ලද අනෙක් සියලුම විහාරස්ථාන( ලංකාවේ සියලුම විහාරස්ථාන කිව්වොත් නිවැරදි) සදහා භාරකරු වශයෙන් පත්වන්නේ එම විහාරස්ථානයේ විහාරාධිපති භික්ෂුන් වහන්සේය. ඒ සදහා පනතේ ” පාලක විහාරාධිපති” ලෙස විශේෂ නමක් යොදා ඇත. එසේ නම් කර ඇත්තේ විහාරස්ථාන කිහිපයක නිත්‍යානුකූල විහාරාධිපති විසින් තම ශිෂ්‍යන් ඒ ඒ විහාරස්ථානවලට පත්කර වගකීම් භාරදීම හා, එකී පත්කරන ලද භික්ෂුන් වහන්සේ තත්වාකාර විහාරාධිපති ලෙස නීතිය මගින් හදුන්වන බැවිනි.
  3. දළදා මාළිගාව – දළදා මාළිගාවේ භාරකාර ධුරය ” දියවඩන නිලමේ ” නමින් හදුන්වන ගිහි බෞද්ධයකු වෙත පවරා ඇති අතර, එක් ධුර කාලයක් වසර 10 ක් සදහා පත් වෙයි, එක් අයකුට දෙවතාවක් ධුරය දැරිය හැක. මෙම පත් වීම කරනු ලබන්නේ අනුමත ඡන්දයක් මගින් ඉදිරිපත් වන අය අතුරින් සුදුස්සෙකු තෝරා ගැනීම මගිනි.
  4. අටමස්ථානය – අටමස්ථානයේ භාරකාරත්වය පැවරී ඇත්තේ තිදෙනෙකුගේන් යුත් කමිටුවකටය. එම කමිටුව වන්නේ ශ්‍රී මහා බෝධියේ නායක හිමියන්, නුවර වැව පවුලේ ප්‍රධානියා සහ අනෙක් තැනැත්තා වන්නේ අස්ගිරි-මල්වතු මහා නා හිමිවරු සමග ශ්‍රී පදයේ නායක හිමි යන තිදෙනා ඒකමතිකව තෝරාගන්න ස්වාමින් වහන්සේ නමකි.
  5. ශ්‍රී පාදස්ථානය – ශ්‍රී පාදස්ථානයේ භාරකාරත්වය පත් කරන ආකාරය පනතේ සදහන්ව නැත. නමුත් ” ශ්‍රී පාදස්ථාන නඩුවේ ” 1871 වැන්ධස්ට්‍රටන් වාර්තාවේ 215 පිටුවේ සදහන් ආකාරයට තෝරා පත් කර ගැනීම සිදු කරනු ලබයි. ඒ අනුව සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ විහාරස්තානවල විහාරාධිපති භික්ෂුන් වහන්සේලා විසින් සුදුසු භික්ෂුන් වහන්සේ නමක් තෝරාපත් කරගනු ලබයි.
  6. දේවාල සදහා – විහාරස්ථානවලට අයත් සහ අයත් නොවන දේවාල භාරකරුවන් ලෙස පත්කර ගනු ලබන අය බස්නායක නිලමේ නමින් හදුන්වයි. මේ සදහා අනුමත ඡන්ද දායකයන්ගෙන් ඡන්ද විමසීමක් පවත්වා සුදුසු කෙනෙකු තෝරා පත්කර ගනී.

ඉහතින් දක්වන ලද ආකාරයට, තෝරාපත් කරගන්නා අය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා වෙන්කර ඇති බව පනතේ දක්වා ඇත. එනම් 01. පාලක විහාරාධිපති, 02. භාරකරු ලෙසය. එමෙන්ම මෙම කොටස් දෙක සම්බන්ධයෙන් යම් යම් අවස්ථාවලදී පැන නගින ලද ගැටළු සම්බන්ධයෙන් විනිශ්චිත නඩු තීන්දු දහස් ගණනක් අපගේ අධිකරණ පද්ධතියේ දක්නට ඇත.
ඒ කෙසේ වෙතත් මෙම දෙපිරිසම සම්බන්ධයෙන් මුල් අධිකරණ බලය දිසා අධිකරණය වෙත ලබා දී ඇත.

දිසා අධිකරණයේ බලතල……..
නඩු විභාගයකින් පසුව භාරකරුට හෝ පාලක විහාරාධිපති භික්‍ෂුවට විරුද්ධව

  1. යම් කාර්යක් ඒ අයුරින්ම කරන ලෙස හෝ නොකරන ලෙස අණ කිරීම.
  2. විහාරස්ථානයට හෝ දේවාලයට වූ අලාභය හා නඩු ගාස්තු අය කර ගැනීම.
  3. භාරකරුවෙකු ඉවත් කිරීමට නියෝග කිරීම.
  4. භාරකරුගේ/පාලක විහාරධිපතිගේ කාර්යන් හා ඊට අනුශාන්ඝික ක්‍රියාවන් අත්හිටුවීම හෝ තහනම් කිරීම